2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

ෆන්-මේන්තුවේ විනෝද සම‍ය

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 140

 

වාසිබෝලන්තයේ පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ "ෆන්-මේන්තුව" යන නමිනි. ඉංග්‍රීසියෙන් මෙන්ම වාසිබෝලන්ත භාෂාවෙන්ද "ෆන්" යනු විනෝදය යන අරුත් දෙන වචනයකි. එරට පාර්ලිමේන්තුවට එම නම යෙදෙන්නේ එහිදී වැඩි වශයෙන්ම කෙරෙන්නේ විනෝදාස්වාදාත්මක සංවාදයන් නිසාය. එකිනෙකාට සමච්චල් කර ගැනීම, මඩ ගසා ගැනීම, අපහාස උපහාස කිරීම වාසිබෝලන්ත මැති ඇමැතිවරුන්ට සුපුරුදු ජනප්‍රිය ක්‍රියාවන්ය. මැතිසබය යනු, එකම විනෝද සමයකි.

රටට සහ ජනතාවට වැදගත් වන දේ ගැන එහිදී කතා කෙරෙන්නේ නැත්තේ, ඒවා මැතිවරණ කාලයන්ට පමණක් (රැස්වීම්වලදී) සීමාකොට තිබෙන නිසාය. ෆන්මේන්තු රුස්වීම්වලදී කෙරෙන කතාබහ තුළින් ජනතාවද මඳක සතුටක්, විනෝදයක් ලබන බැවින් ඔවුන්ගෙන්ද කිසිදු විරෝධතාවක් පැන නොනගී. රටක පාලකයන් පත්වන්නේ එරට ජනතාවට ගැළපෙන අන්දමටය යන්න, මෙරටදී ඉතා හොඳින් දැක ගත හැකිය. තමන්ගේ වැටුප් හා දීමනා වැඩිකර ගැනීම, වාහන ගෙන්වා ගැනීම ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය සඳහා ජනතාව මත බදු පැටවීම වැනි කාරණා දෙක තුනකදී පමණක්, කතානායක විසින්, විහිළු තහළුවලට තහනමක් පනවනු ලැබේ. අයවැය ලේඛනය නම් එතරම් "සීරියස්" කර නොගන්නේ, එහි ඉදිරිපත් කෙරෙන බොහෝ දේ පසුව කමිටු හා අනුකමිටු මගින් වෙනස් කරන හෙයිනි. තම අයවැය ලේඛනයට සිදුවන දේ, මුදල් ඇමැතිවරයා පවා නොදනී. එහි සැබෑ හිමිකරුවා වන්නේ එරට ජනපති හෝ අගමැතිය.

මෑතකදී, මාධ්‍යවේදියා සහ නාවික හමුදාව මැයින් එරට පැවති සමුළුවක් සඳහා මටද සහභාගි වීමට ලැබුණි. සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන්ම සමුළු දේශන ඉතා නීරස වූ බැවින්, මම එම ශාලාව අසලම තිබූ අවන්හලකට රිංගුවෙමි. ලොකු ලොක්කන්ට ලේකම්ලා විසින් ලියාදෙන කතාවන්ට වඩා, සොක්කන්ගේ කතා, අවංක බව මම අත්දැකීමෙන් දනිමි. අවන්හලේදී හමුවූ, මැදිවියේ පුද්ගලයකු හා කතාවට වැටුණු මම, ඔහුගෙන් මෙසේ විමසුවෙමි.
ඔබේ ෆන්මේන්තුව ඉතාම විනෝදජනක වූද, ජනතාවට විහිළු සපයන්නා වූද ස්ථානයක් බව මුළු ලෝකයම දන්නා දෙයක්. ඇත්තෙන්ම ඔබට ප්‍රශ්න නැද්ද?

වාසිබෝවැසියා සිනාසුණේය.

අපේ රටේ ජනතාවට ප්‍රශ්න නැති බව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම කියැවෙනවා. ජනතාවට ප්‍රශ්න නැති නිසාම කවුරුවත් ප්‍රශ්න ගැන කතා කරන්නෙත් නෑ.

අමතකවෙලා හරි කතා කළොත්?
එහෙම වුණොත්, ඒ පුද්ගලයාට ව්‍යවස්ථාව පිළිබඳව නැවත හදාරන්න වෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ සඳහා විශේෂ නේවාසික පාඨමාලාවන් පවත්වනවා. ඉන්පසු මම, ඒ පිළිබඳව කතා නොකළෙමි. අවන්හල තුළ සිටියේ සීමිත පිරිසකි. ඔව්හුද, තම තමන්ගේ බීම වීදුරු වෙතට නැඹුරුව, කල්පනාකාරීව සිටියහ. කෑගැසීම්, විහිළු කිරීම් කිසිත් නැත. එසේම මට දැනුණු තවත් විශේෂ දෙයක් වූයේ, ඔවුන් බීම වීදුරුවකට, දෙකකට වඩා නොගැනීමය. බයිට් කෑමක්ද නැත. මට ඒ ගැන අර පුද්ගලයාගෙන් දැනගැනීමට කුහුලක් ඇතිවුණි. ඔහු මෙසේ කීවේය.

අපේ ජනතාව ආණ්ඩුවත් එක්ක එකඟතාවකට ඇවිත් තියෙන්නෙ එක දවසකට අඩියකට දෙකකට වඩා ගහන්නෙ නෑ කියලා.

කවුරුත් බයිට් එකක් ගන්න පාටකුත් නැහැනෙ.?

මෙහෙ තියරියක් තියෙනවා, බයිට් කෑවොත් බොන්න බෑ. බිව්වොත් බයිට් කන්ඩ බෑ කියලා. මම එයද වටහාගෙන ඉන් එහාට කතා කිරීමට නොගියෙමි. විදේශයකට ගිය විට ඒ රටේ සංස්කෘතියට ගරුකිරීම මගේ වැදගත් සිරිතකි. එහෙත් මට තව අඩියක් ගැසීමට සිත් වී, මගේ මිත්‍රයා දෙසට හැරුණෙමි. 

“අපි තව අඩියක් ගහමුද? ඒක ඔබට ප්‍රශ්නයක් වෙයිද?*
“ඔබ බිල ගෙවනවා නං ඒක ප්‍රශ්නයක් නෑ.
ඉන්පසු ඔහු අඩියක් නොව දෙක, තුනක්ම ගැසුවේය. වාසිබෝලන්තයේද පින් අඩිකාරයන්ගෙන් අඩුවක් නැති බව මට අවබෝධ විය. තරමක් වෙරිවූ පසු ඔහු ගීතයක් මුමුණන්නට වූයේය.

“ඔබට සිංදු කියන්න පුළුවන්ද?*
“පුළුවන්, ඒත් ඒ බාත්රූම් එකේදියි, බාර් එකේදියි විතරයි.*
“අපේ රටේත්, බාර්වලදී සිංදු කියන අය වැඩියි. ඒ නිසා හුඟාක් තැන්වල බෝඩ් ගහලා තියෙනවා මෙහි ගීත ගායනා කිරීම තහනම් කියලා.

“අපේ රටේ නං එහෙම ප්‍රශ්නයක් නෑ. ඒත් වැඩිදෙනා කියන්නෙ මව්ගුණ ගීත විතරයි. අපිට දැන් ඒවා අහලම එපා වෙලා.

මගේ මිත්‍රයා කියූවාක් මෙන්ම, ටික වේලාවකින්ම අවන්හලේ තැන් තැන්වලින් මව්ගුණ ගීත ඇසෙන්නට විය. එහෙත් පුදුමය වූයේ, ඒ සෑම ගීතයකින්ම කියැවුණේ, ෆන්-මේන්තුවේ නියෝජිතවරුන්ගේ මව්වරුන් පිළිබඳ වරුණාවන් වීමය.
ෆන්මේන්තුවේ සභා රැස්වීමක් දැකගැනීමට හැකිදැයි මම විමසා බැලුවෙමි. එහෙත් ඊට අවසර ලබාගැනීම දුෂ්කර විය. එහි මහජන ගැලරියක් පවා නැත. කෙසේවෙතත්, වාසිබෝලන්තයේද මුදලට කළ නොහැකි දෙයක් නැත.

ෆන්මේන්තුවේ දොරටුපාලකයකුට විස්කි බෝතලයක් දීමෙන් පසු, මන්ත්‍රීවරයකු ලෙස වෙස් වළාගෙන එහි පසුපස අසුනකට යාමට මට හැකි වුණි. එම අසුන්වල සිටින්නෝ, නිදි කිරාවැටෙති, ගොරවති, සිහින දකිති. එහෙත්, සෑම රැස්වීම් වාරයක් සඳහාම විශේෂ ගෙවීමක්ද ලබති. පනත් සම්මත කිරීම් වැනි අවස්ථාවන්හිදී කතානායක විසින්, අවදිවෙනු, අත්ඔසවනු වැනි විධානයන් නිකුත් කෙරෙන අතර, මැතිඇමැතිවරු ඒ අනුව ක්‍රියාත්මක වෙති. මා එහි ගිය දිනයේ, සියලුම මැති ඇමතිවරුන් සඳහා පෞද්ගලික ගුවන් යානා ලබාදීමේ පනතක් සම්මත වුණි. සුඛෝපභෝගි යානවාහනද හිමි, ඔවුනට ගුවන් යානාද ලබාදෙනවාට ජනතාව විරුද්ධ නැතිදැයි මම දොරටුපාලයාගෙන් විමසුවෙමි.

“මොකටද විරුද්ධ වෙන්නේ? ඡන්දෙන් පස්සේ පවුල් පිටින් රට යන්නනෙ ගුවන් යානා ඉල්ලන්නෙ. සමහරු ඉල්ලල තියෙන්නෙ නැව්!

ඒ මොකටද?
“පරම්පරා දෙකතුනකට හරිහම්බ කරපුවා පටවන් යන්ඩ!* එසේ කියූ, දොරටුපාලකයා මව්ගුණ ගීතයක් මුමුණමින් ආපසු තම රාජකාරි ස්ථානයට පිය මැන්නේය.

♦ කපිල කුමාර කාලිංග 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00